Sunday, June 21, 2015

කණ්ඩායමේ වැරදි හේතුවෙන් වසර 15 කට පසුව පරාජය වුණා - මැතිව්ස්

නවක පිතිකරුවන්ගේ අපරික්ෂාකාරී පිතිකරණය හා ටෙස්ට් තරගයකට මානසිකව සූදානම්ව නොසීටීම හේතුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට වසර 15 කට පසුව පකිස්තානය හමුවේ ගාල්ල ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග පරාජයකට මුහුණ දීමට සිදුවිය.  ගාල්ලේදී අවසන් වූ පලමු ටෙස්ට් තරගයෙන් පකිස්තානය කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කරමින් මෙරටදී ටෙස්ට් ජයග්‍රහණයක් වසර 9 කින් භුක්ති විඳීමේ අවස්ථාව ලබා ගත්තේය.


තරගයේ පලමු දිනය වර්ෂාවෙන් සේදී ගිය අතර, දෙවැනි දිනයේ දිවා විරාමට පසෙකට තබා තරගය ආරම්භ වූවේ විචාරකයන්ට කුතුහලය ඇති කරමිනි. සාමාන්‍යයෙන් ගාල්ල ක්‍රීඩාංගණය පලමු දින කිහිපයේ පිතිකරුවන්ගේ පාරාදීසයක් වුවද පකිස්තාන නායක මිශ්බාහ් තීරණ‍ය ක‍ලේ පන්දු යැවීමටයි. ඔහුගේ තීරණය නිවැරදි කරමින් පකිස්තාන පන්දු යවන්නන් තම කාර්යය මැනවින් ඉටු කලේ ශ්‍රී ලංකාව ලකුණු 300 ක් තුළ රඳවමින්. කෞෂාල් ලකුණු 125 ක් ලබා ගනිද්දී  අනෙකුත් පිතිකරුවන්ට ලකුණු 50 කඩඉම පසුකිරීමට හැකිවූ යේ නැත.


නමුත් ධම්මික ප්‍රසාද්ගේ මූලිකත්වයෙන් තෙවැනි දිනය අවසානයේ පකිස්තාන පලමු කඩුලු 5 ලකුණු 95 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්විය. නමුත් සිව්වැනි දිනය හා පස්වැනි දිනය පකිස්තාන පසුපෙල පිතිකරුවන්ගේ හා පන්දු යවන්නන්ගේ අනසකට නතුවිය.

පකිස්තාන කණ්ඩායම පලමු ඉනිමට ලකුණු 117ක වාසියක් රඳවා ගත් අතර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 206 කට සීමා කිරීමට සමත්විය. දිමුත් කරුණාරත්න (79) හා ළහිරු තිරිමාන්න(44) සටන්කාමී ඉනිම් දෙකක් ක්‍රීඩා කලද, අනෙකුත් පිතිකරුවන්ට එය සිදුකල නොහැකිවිය. ඇන්ජලෝ මැතිව්ස් විනිසුරුවරයාගේ වැරදි තීරණයක ගොදුරක් වීම හැරුණ විට අනෙක් පිතිකරුවන් සිය රාජකාරිය සිදුකිරීමට අපොහොසත්විය. දිනේශ් චන්දිමාල් පසුපෙල පිතිකරුවන් සමග එක්ව ලකුණු 38ක් ලබා ගත්තද, අත්දැකීම් මදකම ඔහුගේ ඉනිමෙන්ද ‍දැක ගැනීමට හැකිවිය. පසුපෙල පිතිකරුවන් ප්‍රතිවාදී පන්දුයවන්නන්ට ගොදුරුවීම වැලැක්වීමට ඔහු වගකීම භාරගනිමින් පන්දුවට පහරදෙනු දැකිය නොහැකිවිය. කිත්රුවන් විතානගේ පලමු ඉනිමේ ලකුණු 18 ක් ලබා ගත්තද, දෙවැනි ඉනිමේ එක් ලකුණකට දැවීගියේ ටෙස්ට් තරගයක් බව අමතක වීම ‍නිසාදැයි සැක සහිතය.

තරුණ ක්‍රීඩකයන් සියලුදෙනා විශාල පහරවල් පසුපස හඹායාම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට තිබූ තරගය පකිස්තාන කණ්ඩායම වෙත ලබා දීමට සිදුවිය.

එහිදී 8 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කල පාදග පන්දු යවන ක්‍රීඩක යසීර් ශාහ් ලකුණු 74 ක‍ට කඩුලු 7 ක් දවා ගත්තේ, තරගයේ  පලමු ඉනිමේ දවාගත් කඩුලු 2ට අමතරවයි.

තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිව්ස් පැවසුවේ, තමන් අතුලු කණ්ඩායම පරාජයේ වගකීම භාරගන්නා බවයි.

"ක්‍රීඩකයො තමයි වගකියන්න ඔනෙ. තේරීම් කමිටුවට වගකියන්න බැහැ. ක්‍රීඩකයො තමයි ක්‍රීඩා කලේ  අපි හොඳින් ක්‍රීඩා කලේ නැහැ. පකිස්තාන කණ්ඩායම අපිට වඩා හොඳින් ක්‍රීඩා කලා.මේ ක්‍රීඩා කල විලාශය දැක්කම.  ඔවුන් ජයග්‍රහණය කරන්න සුදුසුයි කියල මම හිතනව  නමුත් අපිට තව තරග දෙකක් තියෙනව. හොඳින් ක්‍රීඩ කරල ‍මේ තරගාවලිය තාමත් දිනන් පලුවං කියන බලා පොරොත්තුව තියෙනව. "
ගාල්ලේදී දිගින් දිගටම සාර්ථක වන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි ඉරණමක් හිමිවීමට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ තම කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශයයි.

"ගාල්ල අපි හොඳින් ක්‍රීඩා කරල තියෙනව අතීතය ගත්තම දකුණූ අප්‍රිකාවට පමණයි මෑතකදි පරාජය වුනේ නමුත් අපි හොඳින් ක්‍රීඩා කලේ නැහැ. අපි ඒක පිලිගන්නව අපි පන්දු යැවීම පිතිකරණය සහ පන්දු රැකීම සාමාන්‍ය හොඳ මට්ටමක තිබුණ නමුත් පිතිකරණය හොඳින් තිබ්බෙ නැහැ. අපි ඒකයි පරාජය වුනේ. "
දින තුනහමාරක් ක්‍රීඩා කල තරගයක් වුවත් මෙම තරගය පරාජය වීම ප්‍රධාන සාධකය ලෙස ඔහු පෙන්වා දෙන්නේ පලමු ඉනිමේ දී විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකිවීමයි.

"පලමු ඉනිං එකේ 300 කට වැඩිය ලබා ගන්න තිබුන, විකට් එකේ හොඳම දවස පලවැනි දවස පලමු දවසෙත් දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය වුනා තණතිල්ල. එක අතකිං හොඳයි නිකං දවස් හතරක් ක්‍රීඩා කරල රිසල්ට් එකක් ගන්න පුලුවන්නම් ටෙස්ට් මැච් එකක හුඟක් වාසි දායකයි. අවාසනාවකට ඒක අපේ පැත්තට හැරුනෙ නැහැ. "

විනිසුරු තීරණ නැවත විමසා බැලීමේදී මෙම තරගයේදී, ස්නිකෝ මීටර් (ශබ්දය පෙන්‍විමේ මානය) හා හොට් ස්පොට් (පන්දුව පිත්තේ වැදුනාද යන්න සොයාබලන කලු සුදු රූපරාමු ක්‍රමය) භාවිත නොකිරිම ‍හේතුවෙන් අවසනාවන්ත ලෙස මැතිව්ස්ට පස්වැනි කඩුල්ල ලෙස දැවීයෑමට සිදුවීම තරගයේ තීරණයට යම් බලපෑමක් විය. ඒ ගැන ඔහු අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කලේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නීති රාමුවට එය පටහැනිවීම හේතුවෙන්.
"අවාසනාවකට මට ක්‍රීඩකයෙක් විදියට ඒ ගැන කමෙන්ට් කරන්න බැහැ. අයි සී සී රූල්ස් රෙගියුලේෂන් අනුව බැලුවම මට නායකයෙක් විදියටත් ක්‍රීඩකයෙක් විදියටත් ඒ ගැන කතා කරන්න බැහැ. ඒක යූස් කරනව කියන එක හොඳයි අම්පයර්ස්ලට තව චාන්ස් එකක් තියෙනව."

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර දෙවැනි තරගය කොළඹ පී සරා පිටියේදී ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වනවා.