Saturday, June 27, 2015

අයි සී සී ක්‍රිකට් නීති වෙනස් වෙයි - ලකුණු 300 - 400 රැස්කර හමාරයි

එක්දින හා පන්දුවාර 20- 20 ක්‍රිකට් තරග වලදී පන්දු රකින්නන් යොදවන ආකාරය හා පවර් ප්ලේ අවස්තා සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නව නීති මාලාවක් අද ප්‍රකාශයට පත්කලා. ඒ එම කවුන්සිලයේ වාර්ශික සම්මේලනයේදී ගත් තීරණවලට අනුවයි. එම සම්මේලනය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නව නීති මාලාව ලබන මස 5 වැනිදා සිට ක්‍රියාත්මක ‍වන බවයි.



එහිදී ප්‍රධාන කරුණු 4 ක් වෙත අවධානය යොමුව ඇති අතර, පලමු කාරණා තුන පන්දුවාර 50 එක්දින තරග සඳහා යොදා ගැනීමට නියමිතවේ. ඉතිරි කරුණ එක්දින හා 20-20 යන තරග රටා දෙක සඳහා යොදා ගනු ඇත.

ඒ පලමු පන්දුවාර 10 තුළ අනිවාර්‍යයෙන්ම පිතිකරුවා අසල රැඳවිය යුතු පන්දු රකින්නන් ගේ සීමා ව ඉවත් කිරිමයි. මීට පෙර පලමු පන්දුවාර 10 තුල යාර තිහේ සීමාවෙන් පිටත  පන්දු රකින්නන් දෙදෙනෙක් හා පිතිකරුවාගේ සිට මීටර් 15 ක් දුර සීමාවේ රැඳවීම අත්‍යවශ්‍ය විය. නව නීතිය අනුව එම ක්‍රීඩකයන් දෙදෙනා රැඳවීමේ අවශ්‍යතාවක් පැණ නොනගී. ඒ අනුව පන්දු රකින ක‍ණ්ඩායමට අදාළ ක්‍රීඩකයන් යාර තිහ සීමාව තුල අවශ්‍ය පරිදි රැඳවීමේ අතිරේක අවස්ථාවක් හිමිවේ.



එහි දෙවැනි කරුණ ලෙස සඳහන් වන්නේ පන්දුවාර 15 සිට පන්දුවාර 40 දක්වා කාලය තුල  පිතිකරුවන් වෙත ලබා දුන් පවර් ප්ලේ අවස්තාව ඉවත් කිරීමයි. ඒ අනුව පන්දුවාර 10 සිට පන්දුවාර 40 දක්වා කාලය තුළ පන්දු රකින කණ්ඩායමට රිසි ලෙස පන්දු රකින්නන් ‍යෙදවීමේ අවස්ථාව හිමිවෙයි.

පන්දුවාර 41 සිට 50 දක්වා පන්දු රකින්නන් පස් දෙනෙකු යාර තිහේ සීමාවෙන් පිටත රැඳවීමට අවස්තාව සැලසීම තුන්වැනි කරුණ ලෙස සඳහන් වනවා. මීට පෙර එම කාලය තුල පන්දු රකින්නන් යෙදවිය හැකි වූයේ සිව් දෙනෙකු පමණි. 

එසේම සිව්වැනි කරුණෙන් සඳහන් වන්නේ තරගයක යොමුවන ඕනෑම නිපන්දුවක් සඳහා ෆ්‍රී හිට් අවස්තාවක් ලබා දීමයි. මීට පෙර පන්දු යවන්නෙකු සීමා ඉර උල්ලංගණය කල අවස්තාවේ පමණක් ෆ්‍රී හිට් අවස්තාව හිමිවිය. 

අවසන් වරට 2012 වසරේ ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා නීති සංශෝදනය විය. පසුගියදා ඉන්දියාවේදී රැස්වූ ක්‍රිකට් කමිටු නියෝජිතයන්ගේ නිර්දේශ පරිදි මෙම වෙනස්කම් සිදුකිරීමට ‍යෝජනා වූ අතර, මීට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල විධායක කමිටුව අනුමැතිය ලබා දුන් බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කල නි‍වේදනයේ සඳහන් වේ. 

2012 වසරේදී එක්දින තරගවල පන්දු රකින්නන් සඳහා කල වෙනස්කම් හේතුවෙන් බොහෝ විවේචන එල්ලවිය. ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වේගවත් වූ අතර, ලකුණු 300 සීමාව අභිබවා යමින් ලකුණු 400 සීමාව දක්වා ඇදීයාමද දැක ගත හැකිවිය. මෙසේ වෙනස්කම් සිදු කිරීමෙන් පන්දු යවන්නන්ට ඇති අවස්තා සීමිත වූ බවටද මත පල විය. 



පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී මෙය මනාව දැක ගත හැකිවූයේ පැවති තරග විශාල ප්‍රමාණයක ලකුණු විශාල සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙනි.