Thursday, June 25, 2015

රත්ගම තරිඳු හා ධම්මික පකිස්තාන පලමු ඉනිම සුනු විසුනු කරයි

සංචාරක පකිස්තානයට එරෙහිව පී සරා ඕවල් ක්‍රීඩංගණයේ පැවත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පලමු දිනය අවසානයේ තරගයේ පාලනය තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ පකිස්තාන කණ්ඩායමේ පලමු ඉනිම ලකුණු 138 කට සීමා කරමිනි. 
Photo (c) Nathan Shanmuganathan

පලමු තරගයෙන් අන්ත පරාජයක් හිමිකරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අපහසුතාවට පත් කරමින් ඩිල්රුවන් පෙරේරා ආබාදයකට ලක්විය. ඔහුගේ අතක මැහුම් 7 ක් දැමීම හේතුවෙන් ඔහුට අද ආරම්භවූ තරගය අහිමිවිය. ඔහුගේ ස්ථානයට ආදේශ කල තරිඳු කෞෂාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම ජයග්‍රාහී ඉසව්වකට ගෙන ඒම දෛවෝප ගත සිදුවීමක් විය. 

තම දෙවැනි තරගයට ක්‍රීඩා කල කෞෂාල් අනගි පන්දුයැවීමක් සිදුකරමින් ප්‍රතිවාදී කඩුලු පහක් ගොදුරු කරගත්තේ ලකුණු 42 ක් පමණක් ප්‍රතිවාදීන් වෙත ලබා දෙමිනි.

පිටදඟ පන්දුවෙන් දේශීය ක්‍රිකට් බිම එලිව කල තරිඳු, තමන්ට ලැබුණ අහඹු අවස්ථාව මනාව උපයෝගී කරගත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සුරක්ෂිත බව තහවුරු කරමිනි.

රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රීඩාවට අත් පොත් තැබූ ඔහු ශ්‍රී ලංකා ‍වයස 19 න් පහළ යොවුන් කණ්ඩායමද නියෝජනය කල ක්‍රීඩකයෙකි. 


ඊයේ පුහුණුවීම් වලදී අවාසනාවන්ත සිද්ධියකට මුහුණදෙමින් අතක් ආබාදයකට ලක්වූ ධම්මික අද තරගයට තෝරා ගත් අතර, ඔහු ප්‍රතිවාදී පකිස්තාන ඉදිරිපෙල පිතිකරුවන් සුනු විසුනු කරමින් කඩුලු 3 ක් තම කඩුලු ගොන්නට එක් කරගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් ලබා දෙමිනි. ඉනිමේ පලමු කඩුලු තුනේම හිමිකරුවා වූ ප්‍රසාද් ලකුණු 74 ක් තුළ එම කඩුලු තුන ‍දවා ගත්තේය. 

පසුගිය තරගයට ක්‍රීඩා කල නුවන් ප්‍රදීප් වෙනුවෙන් තවත් නවකයෙකු ආදේශ විය. ඔහු නමින් චමීර දුෂ්මන්ත නම්විය. මෙරට ටෙස්ට් වංශ කථාවට එක්වූ 129 වැනි ක්‍රීඩකයා ලෙස බෞතීස්ම ලැබූ චමීර ප්‍රතිවාදීන්ට හිසරදයක් විය. ඒ ඔහුගේ ප්‍රවේගකාරී පන්දු යැවීම හේතුවෙනි. කෙසඟ සිරුරකට හිමිකම් කීවද ඔහු ඉතා වේගයෙන් පන්දුව මුදා හරීමේ දක්ෂයෙකු වේ.  කඩුලු පිපාසයෙන් සිටි චමීර ප්‍රතිවාදී ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස සුලෆිකර් බාබර්ගේ කඩුල්ල තමන් සතු කරගත්තේ, ටෙස්ට් දිවියේ මංගල කඩුල්ල ‍ලෙසය.


Photo (c) Nathan Shanmuganathan

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු බලඇණියේ  ප්‍රධානතම තුරුම්පුව ‍වන රංගන හේරත්, පලමු ඉනිමේදී භාවිත නොකිරීම සුවිශේෂී කාරණයක් ලෙස පෙන්වා දිය හැක. තම ක්‍රීඩා සමාජය වන ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ,  ක්‍රීඩාංගණයේ එක් පන්දුවක් හෝ යොමු කිරීමට අවස්ථාව නොලැබීම දෛවෝප ගත සිදුවීමකි. රංගනට අද එක පන්දුවක් හෝ යැවීමට අවශ්‍යතාවක් නොවූයේ අනෙක් පන්දු යවන්නන් තම කාර්යය මැවවින් සිදුකිරීම හේතුවෙනි. 

පකිස්තාන පලමු ඉනිම 138
මොහොමඩ් හාෆිස් 42, දුෂ්මන්ත චමීර 42/5, ධම්මික ප්‍රසාද් 43/3, දුෂ්මන්ත චමීර 33/1 


පලමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 70 ක් ලබා සිටියේය. සංයමයකින් පහරදෙමින් සිටි දිමුත් කරුණාරත්නගේ අනවශ්‍ය පහරක් ඔහුගේ ඉනිම ලකුණු 28 කට සීමා කලද, කෞෂාල් සිල්වා ලකුණු 21 හා කුමර් සංගක්කාර ලකුණු 18 ක් ලබා නොදැවී පහරදෙමින් සිටියේය. 




මීට පෙර මාධ්‍ය වාර්තා කල පරිදි කුමාර් සංගක්කාර පකිස්තානයට එරෙහිව  තුන්වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා නොකලහොත් පකිස්තානයට එරෙහිව පැවැතිවෙන තරගාවලියේ ඔහු ක්‍රීඩා කරන අවසන් තරගය මෙය විය හැක. එසේම ඔහු ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයෙන් පසුව විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවට පලවෙන මාධ්‍ය වාර්තා අනුව, සංගක්කාර කොළඹ දී ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය මෙය ලෙස සැලකිය හැක. ඒ අනුව ගත් කල කුමර් සංගක්කාර ඔහුගේ කොළඹ ක්‍රීඩා ලෝලීන් හට සුවිශේෂී යමක් සිදු කිරීමට උත්සාහ දරනු ඇතැයි විශ්වාස කල හැක.