Friday, October 2, 2015

මෙරට ක්‍රිකට් නැංවීම‍ට නම් නව තරග සැලසුමක් හදුන්වා දිය යුතුයි - සංගා හා මුරලි කියයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට හා දක්ෂයන් හඳුනා ගැනීමට නව තරගාවලි සැලසුමක් අවශ්‍ය බව හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර හා වැඩිම ටෙස්ට් කඩුලු ලාභී මුත්තයියා මුරලිදරන් පැවසීය.

ඔවුන් මේ අදහස් පල කලේ මෙම වසරේ පැවැත්වීමට නියමිත මුරලි කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මුරලි කුසලාන තරගාවලිය මෙවර පස්වැනි වරට පැවැත්වීමට නියමිත අතර, පසුගිය වසර වලදී හඳුනාගත් ක්‍රීඩකයන්ට ජාතික තලයේ පිලිගැනීමක් නොලැබීම ගැන මාධ්‍යවේදීන් කල විමසීමකදී අදහස් දක්වමින් කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් මේ බව ප්‍රකාශ කලේය.

ඔවුන් පෙන්වා දෙන්නේ, අඩු පහසුකම් ඇතිව ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ප්‍රමුඛ පෙල ක්‍රිකට් පිටියේදී, සුපුරුදු දක්ෂතා නොදැක්වීම හේතුවෙන්, ඔවුන්ට ජාතික තලයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබෙන බවයි. එසේම එවැනි ක්‍රීඩකයන් සංචිත ගත කර නව සැලසුමක් සහිතව තරගාවලියක් පැවැත්වීමෙන් ඔවුන්ට තම දක්ෂතා දැක්වීමට අවස්ථාව වැඩි වශයෙන් හිමිවෙනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මෙරට ක්‍රිකට් ඉතිහාසය හා සංසදනය කිරීමේදී, ක්‍රීඩකයන්ගේ සංචිතයේ අඩුවක් දක්නට ඇති බව පෙන්වු දුන් මුත්තයියා මුරලිදරන්, නව ක්‍රීඩකයන් හඳුනාගැනීමේ වැඩපිලිවෙලක් තැනීමේ අවශ්‍යතාව මතුව ඇති බවද අවධාරණය කලා.

ජාත්‍යන්තරය සැසඳීමේදී අනෙක් රටවල, වර්ථමාන තත්වය දියුණු තත්වයක පැවතීම හේතුවෙන් ක්‍රීඩකයන්ට වැඩි අවස්ථා හිමිව ඇත බවද ඔවුන් දෙදෙනා පෙන්වා දුන්නේය.

" නවක ක්‍රීඩකයන්ට ප්‍රමුඛ පෙල ක්‍රිඩා සමාජයක් නියෝජනය කිරීමේ අවස්ථාව ඉතා අඩුයි. ඔවුන්ට ක්‍රීඩා පළාත් තරගාවලියක් හෝ ඊට සමාන තරගාවලියක් නිර්මාණය කිරීමෙන් ක්‍රීඩකයන්ට තම තමන් අතර ක්‍රීඩා කර දක්ෂතා දැක්වීමේ හැකියව තිබෙනවා." කුමාර් සංගක්කාර අදහස් දක්වමින් ප්‍රකාශ කලා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලේ, " අඩු පහසුකම් ඇතිව ක්‍රීඩා කල ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න සිද්ධවෙලා තියෙන්නෙ, වැඩි පහසුකම් සහිතව කොළඹ දී ක්‍රීඩා කල ක්‍රීඩකයන් සමගයි. ඔවුන්ට එක පාරටම එවැනි දෙයක් කිරීමට අපහසුයි."

දැනට පවතින අන්තර් පළාත් තරගාවලියෙන් ද බලාපොරොත්තුවන අරමුණු ඉෂ්ඨවනවාද යන්න
සැක සහිත බව මුත්තයියා මුරලිදරන් මෙහිදී පැවසීය.

" දැන් තරගාවලිය පැවැත්වෙන්නේ, කොළඹ හොඳම කණ්ඩායම්වල සිටින ක්‍රීඩකයන්ව එකතු කරල කණ්ඩායම්වලට බෙදල. මම නුවර කෙනෙක් විදියට කැමතී නුවර කණ්ඩායමට ක්‍රීඩකරන්න. අපේ ප්‍රදේශයේ අය කැමති මම ඔවුන්ගේ ප්‍රදේශය නියෝජනය කරනව දකින්න. නමුත් එය නොවෙයි සිදුවන්නේ." මුරලිදරන් ප්‍රකාශ කලා.

ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දුන් යෝජනාවලියේද මෙම අවශ්‍යතාව පෙන්වා දෙමින්, නිර්දේශ කලේ අන්තර් කලාප තරගාවලියක් පැවැත්වීම යෝග්‍ය බවයි.

මෙවර මුරලි කුසලාන වයස අවුරුදු 19 න් පහළ පාසල් කණ්ඩායම් 16 ක හා කාන්තා කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් මෙම මස 7 වැනි දින සිට 11 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය යාපනය, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම් හා කිලිනොච්චියේ ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වේ.

ගුණ ජය සතුට පදනමින් සංවිධානය කරන මෙම තරගාවලිය සමාරම්භක හා සමාප්ති උළෙල මෙන්ම විවිධ අවස්ථා සඳහා මෙවර මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු ක්‍රීඩකයන් රැසක් සහභාගී වීමට නියමතය.