Tuesday, December 1, 2015

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර අළු බදුනට සමාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ?

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සමාන, වාර්ෂික ටෙස්ට තරගාවලියක් පැවැත්වීමට අවධානය යොමුව ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.



අද නිකුත් කල මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ,  ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාධිපති සයිඩ් ෂාකීල් හුසෙන් (Maj Gen (R) Syed Shakeel Hussain) මහතා හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර අද (01) සිදූවූ  සාකච්ඡාවක දී මීට අවධානය යොමුවූ බවයි.

එහිදී පාකිස්ථාන තානාධිපති සයිඩ් ෂාකීල් හුසෙන් මහතා ප්‍රකාශ කර ඇත්තේ ස්කොෂ්,ටේබල් ටෙනිස්, බ්‍රිලියඩ්, ස්නූකර් යන ක්‍රීඩා සඳහා අවශ්‍ය පුහුණුව හා උපදේශන සේවා සදහා තම රටේ සහයෝගය ලබා දීමට හැකි බවයි. ඉදිරියේදී ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර "අළු බදුන" වැනි  ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කල හැකි බවද ඔහු එහිදී පවසා තිබේ.

ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒ සම්බන්ධව සතුට ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නැංවීමට පාකිස්ථානයෙන් ලැබෙන සහයෝගය ගැන ප්‍රසාදය පල කල බවද එම නියේදනයේ සඳහන්.

මෙම අවස්ථාවට නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය මොහොමඩ් හාරිස්, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ආචාර්‍ය ඩී.එම්.ආර්.බී.දිසානායක, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර යන මහත්වරුන් සහභාගී විය.