Sunday, December 20, 2015

ජපානයේ නාවෝ ඉකෙයාමා ශ්‍රී ලංකාවේදීත් කිරුළ රැකගනී.




ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයට නව අත්දැකීමක් ලබා දෙමින් මෙරටදී සංවිධානය වූ පළමු වෘත්තීය බොක්සිං තරගාවලිය පසුගියදා (19) සාර්ථකව පැවැත්විය.

කැපිටල් මහරජා සංවිධානයේ චැම්පියන්ස් නෙට්වර්ක්   වෙනුවෙන් මෙය සංවිධානය කළේ ස්පෝර්ට්ස් ෆස්ට්.





හිටපු සුපිරි ජපාන මල්ලවපොර ශූරයෙකු සහ දේශපාලඥයෙකු වන ඇන්ටෝනියෝ ඉනෝකි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති තරගාවලියට  
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග  යන මහත්වරුවරුන් ගෞරවණීය ආරාධිතයන් ලෙස සහභාගී විය.

දේශීය මෙන්ම ජපාන සංස්කෘතිකාංග රැසකින් අලංකාර වූ උළෙල, මෙරටට ආවේණික අංගම්පොර සංදර්ශනයක් මෙන්ම, මෙරටට ආගන්තුක
මලල්වපොර තරගයක්ද ඇතුලත් වීම විශේෂත්වයක් විය.

මෙරටදී මෙන්ම දකුණු ආසියාතික රටකදී සංවිධානය වූ පළමු වෘත්තීය බොක්සිං තරගය ලෙස පැවැත්ණේ ඇටම් වේට් බර පංතියේ ලෝක බොක්සිං සංවිධාන
බඳපටිය (WBO - World Boxing Organization Atom Weight Title) වෙනුවෙන් තරගයයි.

එහිදී එම කාණ්ඩයේ ලෝක බොක්සිං සංවිධානයේ ශූරිය වන ජපානයේ ජපානයේ නාවෝ ඉකෙයාමා (Nao Ikeyama) ට අභියොග කළේ  පිලිපීනයේ ජුජියාත් නගඕවා ( Jujeath Nagaowa ).

දහසකට අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක් මෙම ද්වන්ධ සටන නැරඹීමට පැමිණ සිටියෝය.

"මෙම තරගයට හොදින් සූදානම් වූණා. ලෝක ශූරිය පරාජය කර ශුරතා බද පටිය ලබා ගැනීම මගේ අපේක්ෂාව" තරගයට පෙර පිලිපීන ක්‍රීඩිකා ජුජියාත් නගඕවා ( Jujeath Nagaowa ) ප්‍රකාශ කළාය. එම අභියෝගය භාර ගන්නා බවත් තරගයට සූදානම් බවත් ලෝක ශූරිය වන නාවෝ ඉකෙයාමා (Nao Ikeyama) පැවසුවාය.


වට දහයකින් සමන්විතවූ තරගයේදී ක්‍රීඩිකාවන් දෙදෙනාම ආක්‍රණශීලීව ක්‍රීඩා කිරීම කැපී පෙනින. 

අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වූ ඉකෙයාමා තරගයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට සමත්විය. 

විනිසුරුන් තිදෙනාම ලෝක ශූරිය වන ඉකෙයාමා වෙත වැඩි ලකුණු ලබා දී තිබීම හේතුවෙන් විවාදයකින් තොරව නාවෝ ඉකෙයාමා ජයග්‍රාහිකාව ලෙස නම් කළේය. ඔවුන් ලකුණු ලබා දී තිබුනේ 97-93, 96-94, 98-92 ක් ලෙසයි.

ශූරතා තරගයට අමතරව සුපර් ෆ්ලයිවේට් (Super fly Weight) බර පන්තියේ ප්‍රදර්ශනාත්මක තරගයක්ද පැවති අතර  එහිදී තරග වැදුනේ බැන්ටම් බර පන්තියේ ලෝක ශූරියවන  ජපානයේ ටමාවෝ ඔසාවා (Tamao Ozawa ) සහ තායිලන්තයේ සිරිලැක් මුවන්ග්චුවෙන් (Sirilak Muangchuen ) .

ටමාවෝ ඔසාවා මෙම තරගයෙන් පහසු ජයක් වාර්තා කලේ සිරිලැක් මුවන්ග්චුවෙන් තරගයෙන් ඉවත් කරමින්. ප්‍රදර්ශන තරගයක් වූ මෙය වට අටකින් යුතු වුවත් තරගය 
පැවැත්වුනේ වට තුනක් පමණයි. අභියෝගය එල්ල කල තායිලන්ත ක්‍රීඩිකාව ලෝක ශුරියගේ දැවැන්ත ප්‍රහාර හමුවේ තරගයෙන් ඉවත් විය.

ලෝක බොක්සිං සංවිධානයේ (WBO) අධීක්ෂණය යටතේ තරගාවලිය පැවැත්වුණා.

ජපානයේ ෆියුචර් ප්රමෝෂන්ස් ( Future Promotions) සංවිධානය නියෝජනය කරමින් යසුෂි හිරයාමා සහ ග්ලෝබල් ස්පෝර්ට්ස් සංවිධානය (Global Sports Academy) නියෝජනය කරමින් ඩයිසුකේ කාටෝ මහත්වරුන් ඊට අනුග්‍රාහකයින් ලෙස සම්බන්ධ විය.