Thursday, December 3, 2015

අර්ජුන නිශාන්ත මල්ලිගෙ අඩිපාරේ ගොස් හෙට නාම යෝජනා දෙයි ?

දිගින් දිගටම පෙර පැවති ක්‍රිකට් පරිපාලනය විවේචනය කල හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග ඔහුගේ ස්ථාවරයේ වෙනසක් ඇති කරගෙන ඇති බවට පෙනීයන ආකාරයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.


ක්‍රිකට් සභාපති ධූරය සඳහා තරග නොකිරීමට නිදහසට කරුණු සඳහන් කර ඇති ඒ මහතා, වෙනත් තනතුරක් සඳහා තරග කිරීමට සැරසෙන බවට ඉඟි පලකර ඇත. 

ඒ අනුව, විශ්වාසදායී ආරංචි මාර්ග පවසන් ඔහු හෙට පෙරවරුවේ, හිටපු ලේකම් නිශාන්ත රණතුංග පාර්ශවයෙන් උප සභාපතිධූරයට නාමයෝජනා භාරදෙන බවයි.

අද තිලංග සුමතිපාල පාර්ශවය නාමයෝජනා භාරදුන්නේය. සුමතිපාල මහතා සභාපතිධූරයටත්, හිටපු සභාපති ජයන්ත ධර්මදාස හා හිටපු උප සභාපතිවරයෙකු වූ කේ මතිවානන් මහතා උප සභාපතිවරුන් ලෙසත් පත්වීමට නාමයෝජනා භාරදී ඇත.

අර්ජුන රණතුංග මාධ්‍ය අංශය නිකුත්කල මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි.



මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාම ලේඛනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට යවා එම කවුන්සිලයේ නිර්දේශයක් ලබා ගන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් ඉල්ලා සිටි. එමඟින් මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ සුදුසු නුසුදුසුබව තහවුරු කරගත හැකි බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.



මම දයාසිරි ඇමතිතුමාට කිව්වේ එක දෙයයි. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපේ රටේ නීති තියෙනවා. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීතිත් තියෙනවා. ඒ නීතිවලට විරුද්ධව වැඩ කරන්න නම් දෙන්න එපා. අපි ආණ්ඩුවක් හැදුවේ ඒක කරන්න නෙවෙයි. ඒ කියන්නේ අද ක්‍රීඩා නීතියක් තියෙනවා, සූදු ව්‍යාපාරවලට, ක්‍රීඩා භාණ්ඩ ගෙන්වන ව්‍යාපාරවලට වක්‍රව හෝ ඍජුව  සම්බන්ධ පුද්ගලයින්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට යන්න බැහැ කියලා. ඒනිසා නිලවරණයට ඉදිරිපත් වන සියලු දෙනාගේම නම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට යවන්න. යවලා අහන්න ඔවුන්ට තරග කරන්න පුළුවන්ද කියලා. එහෙම නැතිව කවුරුහරි සභාපති වෙලා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට යන්නේ නැත්නම් මම හිතනවා අපි එතන කරන්නේ ලොකු වරදක්. එතන තමයි මෙවර නිලවරණයට ඉදිරිපත්වන තිලංගට තියෙන ලොකුම අවාසිය.....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ඔහු මේබව කියා සිටියේ අද උදෑසන රූපවාහිනි සංවාදයකට එක් වෙමිනි.

මට හුඟදෙනෙක් කතා කළා මේ නිලවරණයට එන්න කියලා. මම එහිදී බැලුවා නීතිය. නීතියට අනුව විධායක මඬුල්ලේ අවුරුදු දෙකක් ඉන්න ඕන සභාපති තනතුරට ඉදිරිපත් වෙන්න. එතැනදී මට බොහෝදෙනෙක් කිව්වා සභාපති තනතුරට ඉදිරිපත් වීම සඳහා ක්‍රීඩා ඇමතිතුමාගේ අනුමැතිය ගන්න කියලා. නමුත් මම එය කරන්නේ නැහැ. මම ක්‍රීඩා ඇමතිතුමාගෙන් අනුමැතිය ඉල්ලනවා කියන්නේ මට සුදුසුකමක් නැති දෙයක් ඉල්ලනවා කියලයි මට හිතන්නේ. අපි ආණ්ඩුවක් හැදුවේ ඒක කරන්න නෙවෙයි. ඇමතිවරයෙක් හැටියට ගිහින් දයාසිරි මැතිතුමාට කියන්න පුළුවන් මට මේ අනුමැතිය දෙන්න කියලා. ඒක මට කර ගන්නත් පුළුවන් කියලා මම දන්නවා. නමුත් මම එහෙම වුණා නම් වෙන්නේ වැරැද්දක්. ඒ නිසා උපසභාපති ලෙස වසර දෙකක් ඉඳලා, සභාපති ධුරය සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය සුදුසුකම් ලබා ගැනීමට මම තීරණය කළා. මගේ හදවතේ තියෙන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව. අපිට හොඳ ක්‍රිකට් ක්‍රීඩකයින් ගමෙන් සොයාගන්න පුළුවන්. නිශාන්ත පාර්ශ්වය සමඟ එක්වෙන්න නම් ඔවුන් මගේ එක කොන්දේසියක් ඉටු කළ යුතුයි. ඒ කොන්දේසිය තමයි පාසල් ක්‍රිකට් සහ කාන්තා ක්‍රිකට් පරිපාලනය මට බාර දිය යුතුයි. මොකද අද පාසල් ක්‍රිකට් සහ කාන්තා ක්‍රිකට් ගැන නිසි අවදානයක් යොමු කර නැහැ.... ” යැයිද මෙම රූපවාහිනී සංවාදයේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.