Thursday, December 3, 2015

දැන් නාවොත් ක්‍රිකට් වල පල්ලට - කලින් පරිපාලනය ක්‍රීඩකයො ගෙදර යැව්ව - තිලංග පාර්ශවය

හිටපු සභාපති වරුන් තිදෙනෙක්, උප සභාපතිවරයෙක් හා විධායක කමිටු නිළධාරියෙකු එක්ව, මීලග ක්‍රිකට් නිළවරණය සඳහා තරගවැදීමට කඳවුරු බැඳ තිබේ. 




ඒ තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස, මොහාන් ද සිල්වා, කේ මදිවානන්, ශම්මි සිල්වා හා රවීන් වික්‍රමරත්නයි. අද ක්‍රීඩා අමාත්‍යංශය වෙත තම නාමයෝජනාව භාර දුන් ඔවුන් මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් මෙවර තරග වැදීමේ අරමුණ පැහැදිලි කලේය.

එහිදී අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කලේ, සාමාජික සංගම්වල මෙන්ම හිටපු ක්‍රීඩකයන්ගේ ද ඉල්ලීම මත මෙවර තරග වැදීමට හිටපු සභාපති ජයන්ත ධර්මදාස හා එක්ව තීරණය කල බවයි. වාද බේද අතැරදා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අගාදයට යෑම වැලැක්වීමට මෙම තීරණයට එළඹි බවද ඔහු මෙහිදී අවධාරණය කලේය.

"සාමාජික සංගම්, ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් හිටපු ක්‍රීඩකයන් අපෙන් ඉල්ලීමක් කලා, ඒ අනුව මමයි ජයන්ත ධර්මදාස මහතායි මේ පිලිබදව සාකච්චා කලා. අපි ඉදිරි සැලැස්ම සැකසීමෙන් පසුවයි තීරණයකට පැමිණියේ. අපි දක්ෂ කණ්ඩායමක් සමගයි තරග කරන්නෙ. සෑම දෙනාගේම ඉල්ලීම වුනේ, ක්‍රිකට් වෙනුවෙන් නැවත පරිපාලනය භාරගන්න කියල. දැන් එන්න බැරිනම් නැවත එන එකේ තේරුමක් නැහැ. මේ පාර නාවොත් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවරයි. එවගේ ඉල්ලීමක් ආව නිසා අපි ක්‍රිකට් වෙනුවෙන් ඉදිරිපත් වුණා." තිලංග සුමතිපාල මහතා එහිදී සැකෙවින් ප්‍රකාශ කලා.

පසුගිය නිළවරණයේදී තමන්ට තරග කිරීමට තිබූ අවස්ථාව අහිමිවුනේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් බවත් මේ වන විට එම ගැටලු විසඳී ඇති බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කලේය. 

හිටපු සභාපති ජයන්ත ධර්මදාස මහතා මෙහිදී විශේෂ හෙළි කිරීමක් සිදුකිරීම විශේෂත්වයක් විය. පසුගිය පාලන කාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ක්‍රීඩාවෙන් ඉවත්වෙන තත්වයට කරුණු සිදුවූ බවත්, එවැනි පුද්ගලයන් සමග කටයුතු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඉන් ඈත්ව සිටීමට තමන්ට සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කලේය.

එසේම වත්මන් අතුරු පාලන කමිටුවේ වැඩපිලිවෙලේ සාධනීය වැඩසටහන් ඉදිරියට ගෙන යෑමට මෙන්ම, හිටපු ක්‍රීඩකයන්ද සම්බන්ධ කරගනිමින් ක්‍රීඩාව ගෞරවාන්විත තත්වයකට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔවුන් මෙහිදී අවධාරණය කලේය.

මේවනවිට ක්‍රිකට් නිළවරණයේ සභාපතිධූරය සඳහා නාම යෝජනා තුනක් ඉදිරිපත්ව ඇත. හිටපු ලේකම් නිශාන්ත රණතුංග, බදුරලිය ක්‍රිකට් සංගමයේ සුමිත් පෙරේරා හා හිටපු සභාපති වරයෙකු වූ තිලංග සුමතිපාල එම නාම යෝජනා තුනවේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ශාන් ද සිල්වාද, මීට තරග කිරීමට මීට පෙර සැලසුම් කර සිටියද ඔහු අවසන් මොහොතේ තම ස්ථාවරය වෙනස් කරගෙන ඇත.

අර්ජුන රණතුංග මහතාද හෙට වෙනත් තනතුරක් සඳහා නාමයෝජනා භාරදීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.