Monday, April 11, 2016

කුසල් ජනිත්ට වසර 4 ක තහනමක් මේදක්වා පණවා නැහැ


ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එරෙහිව වසර 4 ක තහනමක් පණවා ඇතැයි, ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කිරීමත් සමගින් මේ ගැන ක්‍රීඩා ලොලීන්ගේ අවධානය යොමුවිය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිළ නිවේදනයක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් හෝ ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය මගින් හෝ නිකුත් කර නොමැත. වාර්තා වන ආකාරයට එවැනි නිළ නිවේදනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජිත ආයතනයටද මේදක්වා පැමිණ නැත.

මේ සම්බන්ධයෙන් කෙටි සටහනක් තබමින් බීබීසී සංදේශය පුවත් සේවය සඳහන් කර ඇත්තේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කුසල් ජනිත්ට එවැනි තහනමක් පණවා නොමැති බවයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ඔවුන් ඒ බව සඳහන් කලේය.

තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල් ජනිත් පෙරේරාට වසර හතරක තරඟ තහනමක් පනවා ඇතැයි අමාත්‍යවරයා කළ සඳහන් පිළිබඳව විමසූ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ, අදාළ චෝදනාව පිළිබඳව මෙතෙක් විභාගයක් පවා පවත්වා නොමැති බැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවයි.
- BBC Sandeshaya

මේ අතර, හිටපු ටෙස්ට් නායකයෙකු වූ මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, කුසල් ජනිත්ට මේ දක්වා එවැනි තහනමක් පණවා නැති බව, කුසල් ජනිත් සමග කල දුරකථන සංවාදයකදී ප්‍රකාශ කලබවයි.


කුසල් ජනිත් ලබන මැයි මස අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනය කමිටුව හමුවට ඉදිරිපත්වීමට නියමිත වන අතර, ඉන් අනතුරුව ඔහුට ලබා දෙන දඩුවම තීරණය වනු ඇති. තහනම් උත්තේජක ඖෂධ ලබා ගත් බවට චෝදනා නගමින් කුසල් ජනිත්ට පසුගිය වසරේදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් තාවකාලික තහනමක් පැණවීය.