ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්‌ට් තරගාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත තරග නරඹන්නන් (බාමි ආමි) අද ගාල්ලේදී ආරම්භ වන ටෙස්‌ට් තරගය නැරඹීම වර්ජනය කිරීමේ තත්ත්වයක් උද්ගතවී තිබේ. එයට ආසන්නතම හේතුව වී ඇත්තේ තරගය නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍රවල මිල ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබීමය.
තරගාවලිය නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍ර වර්ග 2 ක් පමණක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන අතර එය වායු සමීකරණයෙන් යුක්‌ත සහ නොවන වශයෙන් වේ. එහිදී වායු සමීකරණයෙන් යුතු ප්‍රවේශ පත්‍රයක මිල රු. 7,500 කටත් අනෙක් ප්‍රවේශ පත්‍රය රු. 5000 කටත් අලෙවි කිරීමට තීරණය වී තිබේ. මෙම මුදල ගෙවිය යුත්තේ එක් දිනක් තරගය නැරඹීම සඳහා වන අතර දින පහම තරගය නරඹන්නේ නම් ඔහුට එවැනි ප්‍රවේශ පත්‍ර 5 ක් මිලදී ගත යුතු වේ.
පෙර පරිදි තරගය නැරඹීම සඳහා වන රුපියල් 30 ට හෝ රුපියල් 50 ට අලෙවි කෙරුණු ප්‍රවේශ පත්‍ර මින් ඉදිරියට නිකුත් නොකෙරෙන බැවින්, ගාල්ල අවට ජනතාවටද තරගය නැරඹීම සඳහා රුපියල් 5000 ක හෝ රු. 7500 ක් ගෙවා ප්‍රවේශ පත්‍ර මිලදී ගත යුතු වන තත්ත්වයක් උද්ගත වී තිබේ. මෙම තත්ත්වය මත ඊයේ දිනයේදී ගාල්ල ක්‍රීඩා පිටිය අවට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් මාධ්‍ය ප්‍රශ්න කරනු ලැබීය.
මෙහිදී අදහස් දක්‌වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් නිශාන්ත රණතුංග මහතා, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට රැගෙන ඒමේ අරමුණ ඇතිව මෙම ප්‍රවේශ පත්‍ර මෙවැනි මුදලකට අලෙවි කිරීමට තීරණය කෙරුණු බවත්, එය විදේශීය සහ දේශීය වශයෙන් වර්ග නොකළ බවද සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එල්ල වන ප්‍රධාන චෝදනාව වන්නේ අවසන් ඔස්‌ටේ්‍රලියානු තරග සංචාරයේදී ප්‍රවේශ පත්‍රයක මිල රු. 500 ක් වුවත් එය මෙවර දහ ගුණයකින් වැඩි වූයේ කෙසේද යන්නය. ඒ පිළිබඳව දේශීය මෙන්ම මෙම තරගාවලිය ආවරණය කිරීම සඳහා මෙරටට පැමිණ සිටින විදෙස් මාධ්‍යවේදීන්ද දිගින් දිගටම ප්‍රශ්න කර සිටියේය.
මෙහිදී ගාල්ල ප්‍රදේශයෙන් තරග නැරඹීම සඳහා පැමිණෙන පාසල් ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩා සමාජවල උදවිය සඳහා ප්‍රවේශ පත්‍ර 2000 ක් පමණ දිස්‌ත්‍රික් ක්‍රිකට් සංගම් හරහා නොමිලයේ ලබාදීමට පියවර ගත් බවත් මෙහිදී රණතුංග මහතා සඳහන් කර සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්‌වූ ඒ මහතා, "එංගලන්තය කියන්නේ ලොව අංක එකේ ටෙස්‌ට් කණ්‌ඩායම. එමෙන්ම ශ්‍රී ලංකාව කියන්නෙත් මීට මාස කිහිපයකට පෙර අංක දෙකේ සිටි කණ්‌ඩායම. ඒක නිසා අපේ ක්‍රීඩාව ඉහළ තැනකට ගෙන ඒමට ගත් මෙම තීරණයෙහි කිසිදු අසාධාරණයක් නැහැ" යනුවෙන් සඳහන් කර සිටියේය.




