ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ රැකියා විරහිත ක්‍රීඩකයන් 20 දෙනකුට පමණ රැකියා අවස්‌ථා ලබාදීමට දේශීය ජාත්‍යන්තර සමාගම් රැසක් ඉදිරිපත් ව සිටින අතර, ක්‍රීඩකයන් සිය ආයතනවලට බඳවා ගැනීමේ මූලික සම්මුඛ පරීක්‍ෂණ අදාළ සමාගම් විසින් මේ වනවිටත් අරඹා ඇත.
ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික ආරක්‍ෂක හමුදාවේ (නන්දිමිත්‍ර බළකාය) ක්‍රීඩකයන් සහ තෝරාගත් ක්‍රීඩකයන් සමඟ 38 දෙනකු අයත් වන අතර ඉන් 20 දෙනකු පමණ රැකියා විරහිත ක්‍රීඩකයෝ වෙති.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති රියර් අද්මිරාල් සරත් වීරසේකර අදාළ ආයතන බලධාරීන් සමඟ පවත්වන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් රැකියා විරහිත ක්‍රීඩකයන්ට මෙම අවස්‌ථාව උදා වී ඇත.
හේලීස්, සොµaට්‌ලොජික්, එක්‌ස්‌පෝ ලංකා, ඇසෙට්‌ස්, සතොස සහ මාස් හෝල්ඩිංග්ස් යන ආතයනවලට අදාළ ක්‍රීඩකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මේ වනවිට ද පවත්වා අවසන්ව ඇත. නුදුරේ දී තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකුට සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවුම් ලබන බව සභාපති සරත් වීරසේකර මහතා පැවැසීය.
"මේ ළමයින්ට ඉතා හොඳ පඩියක් ලැබෙයි. ඊට අමතරව පාපන්දු සම්මේලනයෙනුත් රුපියල් 20,000/- බැගින් ගෙවනවා. ඒ අනුව ඒ අයට මුදල් ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ. පූර්ණ කාලයම පාපන්දු පුහුණුව සහ තරග සඳහා යොදවන්න පුළුවන්" යි වීරසේකර මහතා අවධාරණය කළේය.
ලබන පෙබරවාරි මස ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු රන් පදක්‌කම ඉලක්‌ක කොට දියත් කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ පාපන්දු ජාතික සංචිත කණ්‌ඩායම ලබන මැයි මස 13 දා පලස්‌තීනයේ තරග සංචාරයක යෙදෙන අතර එළැඹෙන ජුනි මස දී දින 10 පුහුණුවක් සඳහා බහරේනය බලා පිටත්ව යනු ඇත.
අසෝක ගුණතිලක - Divaina News




